දරුවන් සමඟ චාරිත්‍ර වාරිත්‍ර (rituals and traditions) සිදු කිරීමෙන් ඔවුන්ගේ පවුර්ෂයට මනෝවිද්‍යාත්මකව ධනාත්මක බලපෑමක් කළ හැකි බව ඔබ දන්නවාද?

අද බොහෝ දෙමාපියන් තම දරුවන්ගේ ප්‍රශ්න ගැටලු පිළිබදව අතිශය දුකට පත්ව ඇත. මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වීම, දුරකථනයට හා වීඩියෝ ගේම් වලට ඇබ්බැහිවීම, කල්ලි ගැසීම හා සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වීම, අධ්‍යාපනික කටයුතු වලට උනන්දු නොවීම හා පාසල් නොයාම වැනි චර්‍යාත්මක ගැටලු වගේම ඒවා නිසා ඇතිවන පවුරුෂ ගැටලුත් බොහෝමයකි. එමෙන්ම ළමයින් මානසික රෝගීන් බවට පත්වීමත් සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයත් ඉතා ඉහළ මට්ටමකය. මෙයට හේතු වී ඇත්තේ දරුවන්ට තම පවුරුෂය සමබරව සංවර්ධනය කරගැනීමේ අවශ්තාවන් දෙමාපියන් විසින් ලබා නොදීමයි. මානසික ගැටලු ඇතිවීමට ප්‍රථම නිවාරණාත්මක වැඩපිලිවෙලක් සකසා නොතිබිමයි. විශේෂයෙන්ම සමාජ සංස්කෘතික වශයෙන් ඇති සිරිත් විරිත් ඔවුන්ට පවරා නොදීමයි. ඒවා විසින් අප සිතනවාට වඩා යමක් දරුවන්ගේ ජීවිතවලට ධනාත්මක ලෙස එකතු කරයි.

මෙම බලපෑම් මනෝවිද්‍යාත්මකව පහත වශයෙන් විස්තර කළ හැකිය.

  • ආත්ම විශ්වාසය (Self-esteem) ගොඩනැගීම

පවුලේ සහාය, සම්බන්ධතා සහ පොදු අරමුණු යටතේ සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර වලින් දරුවන්ට තමන් “වටිනා මිනිසෙක් ” යන හැඟීම ඇතිවේ.
පවුල තුළ “මට තැනක් තියෙනවා” කියන දරුවා තුළ වන හැඟීම ඔහුගේ ආත්මවිශ්වාසය වැඩි කරයි.

  • ආරක්ෂිතභාවය සහ ස්ථායීතාවය ඇති කිරීම. (Sense of Security & Stability)

නියමිත චාරිත්‍ර වාරිත්‍ර නිතර සිදු වීම මගින් දරුවාට “දිනපතා පවතින විශ්වාස කළ හැකි ආකෘතියක්” හිමිකර ගැනීමේ හැඟීමක් ලැබේ. වත්මන් දරුවන් තම දෙමාපිය වැඩිහිටියන්වත් විශ්වාස නොකරති. එහෙයින් පවුල සමාජය හා විශ්වය විශ්වාස කරන දරුවෙකු නිර්මාණය කිරිමට සිරිත් විරිත් සුවිසාල කාර්‍යභාරයක් ඉටු කරයි.

  • සන්සුන් මනසක් ඇතිකරයි (Emotional Regulation)

නිතර සිදු වන චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන්, විශේෂයෙන් සමූහ ඉහිලන ක්‍රියාවන් (කතා කිරීම, ප්‍රාර්ථනාවන්, ආචාර කිරිම්, ) දරුවාට අවශ්‍ය මානසික තෙරපීමක් (calming routine) ලබා දේ.
එම හැගීම් මුසු අත්දැකීම දරුවාට කෝපය, භය, හෝ දැඩි ආතතිය කළමනාකරණය කිරීමට උපකාරී වේ. එමගින් යහපත් මනෝභාවයක් ඇති කරයි.

  • තම අනන්‍යතා වර්ධනය කරගැනීමට. (Identity Formation)

චාරිත්‍ර වාරිත්‍ර වලින් දරුවාට තම පවුලේ, සංස්කෘතියේ සහ සමාජයේ “ස්ථානයක්” පිළිබඳ තොරතුරු හා හැගීමක් ලැබෙයි.
එවිට ඔවුන් “මම කවුරුද?” යන ප්‍රශ්නයට තමාගේම පිළිතුරක් සොයා ගැනීමට පටන් ගනී. තම අනන්‍යතාවය එමගින් ස්ථාවර කර ගනී. වර්තමානයේ සිටින්නේ තමා කවුරුන්ද කියාවත් නොදන්නා දරුවන්ය. එවැනි දරුවන් තමන්ටත් පවුලටත් සමාජයටත් හානිදායකය.

  • සම්බන්ධතා වර්ධනය (Social Connection & Attachment)

එක්ව සිදු කරන සමූහ චාරිත්‍ර වාරිත්‍ර එනම් උදාහරණ වශයෙන් සිංහල අවුරුදු චාරිත්‍ර වල එන කිරි ඉතිරවීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම , හිසතෙල් ගෑම වැනි අංගයන් දරුවා සහ දෙමව්පියන් අතර ඇතිවන ආවේගික සබඳතාවය (emotional bonding) ශක්තිමත් කරයි. දෙමාපියනට කීකරු දරුවෙකු නිර්මාණය වන්නේ එමගිනි.

  • කලාත්මක බව සහ නව නිර්මාණාත්මකත්වය (Creativity & Imagination)

සිරිත් විරිත් වල ආංගික රංගනයන්, කතා කිරම්, අවශ්තාවන් , ගීත හා රටාවන් හා ක්‍රීඩාවන් ඔස්සේ දරුවන්ගේ සංවේදී හැකියාවන් වර්ධනය වේ.
එය දරුවාගේ සතිමත් භාවය , නව චින්තනය සහ නව නිර්මාණය පිළිබඳ හැකියාවන් වැඩි දියුණු කරයි.

  • ජීවිතයට අගය සහ අරුත එක් කරයි (Value and Meaning for life)

බොහෝ දරුවන් ජීවත් වීමේ අගය හා අර්ථය නොදනිති. මතට ඇබ්බැහි වී වක්‍රව සියදිවි නසා ගන්නේත් සියදිවි නසා ගන්නේත් ඒ හෙයිනි. ජීවිතය හා එහි පැවැත්මේ අර්ථය අවබෝධය තුළ තීරනය කරයි. එවැනි අවබෝධයක් සිරිත් විරිත් තුළ අන්තර්ගතය.

පසු සටහන

දරුවන් සමඟ චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීම යනු පවුලේ සංස්කෘතිය පවත්වා ගැනීමේ පදනමක් වන අතර, එය දරුවන්ගේ මානසික, සමාජීය සහ සංස්කෘතික සංවර්ධනයට පමණක් නොව ප්‍රජානන හා සදාචාර සංවර්ධනයට මහත් වශයෙන් දායක වේ.
එහෙයින් වසරකට වරක් එන මෙම ස්වර්ණමය අවශ්ථාව මගහැර ගන්න එපා. ඇතැමුන් මේ මහඟු දින කිහිපය විනෝද චාරිකාවක හුදකලා වී දරුවන්ට තව තවත් පීඩාවම ලබා දෙති. ඉදින් සිරිත් විරිත් යනු මොනයම් හෝ ක්‍රියාකාරකම් නොව ඒවා බොහෝවිට මනෝ ප්‍රතිකාරයන් වශයෙන්ද ක්‍රියා කරයි. ආදරණීය සොදුරු දරුවන් නිර්මාණය කළ දෙමාපියන්ගේ අතීත භූමිකාවන් තුළ මෙම සිරිත් විරිත් දරුවන්ට පවරා දිමේ මංසලකුණු පෙන්වා දී ඇත. ආදරණීය දරුවන් නිර්මාණය කිරීමේ රහසද එයයි. ගුණ නැණ සපිරි සමබර පවුර්ෂයකින් යුතු යහපත් දරුවකු ලොවට දායාද කිරීමේ ශක්තිය දිරිය ඔබට ලැබේවා.
ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.💕

සටහන වික්‍රමානන්ද කුරුප්පු
ජේයෂ්ඨ මනෝවිද්‍යා උපදේශක.

සිතුවම් chat-GPT මගින් නිර්මාණය කර ඇත